සුලඟ ඉතින් කොහොමද ?
දවසක් ඉර පායද්දි මං මහ මුහුද දිහා බලාගෙන හිටියා. ඒකට මගේ ඇස් දෙක බැදුනා. පිස්සො වගේ වාහනවල බයිසිකල් වල කොහේදෝ දුවන, බස්වල කෝච්චිවල දොරේ එල්ලුනු ගැහැණිනුන්ගෙ පිරිමින්ගෙ මුහුණුවල ඒ උදේක තිබිය යුතු ප්‍රබෝධමත්කම නම් පෙනෙන්න තිබුනේ නැහැ. ඒ හැම වතකම මොකක්දෝ හිස් බවක් තිබුනා. ඒ හැම හිතකම මොකක්දෝ අඩුවක් තිබුනා. ඒ හිඩැස වහගන්නට උන් මොකක්දෝ දෙයක් පස්සෙ දුවනවා දැක්කා. ඒ දුවන්නේ කුමක් පස්සෙද කියලා නිච්චියක් කිසිම කෙනෙක් ලග තියෙන වගක් නම් දැනුනේ නෑ. සමහර විට සමකාසන්න රටක පායන සියුම් ඉර තව හෝරා කිහිපයකින් සාතන්ව ආරූඩ කරගන්න බව උන් දන්න නිසා වෙන්න ඇති.
මම ආයෙ හවසට ඇවිත් ක්ෂිතිජය දිහා බලාගෙන හිටියා. වැල්ලවත්තෙ දෙමල්ලුන්ට දෙහිවල මුස්ලිම් උන්ට ඇයි මෙච්චර ලස්සනට ඉර බහින්නෙ කියලා මම කල්පනා කලා. සමහරවිට සිංහල මටත් ඉර පායන්නෙ මේ විදියටම වෙන්න ඇති කියලා කවුද ඇහෙන්න නෑහෙන්න කෑගහනවා දැනුනා. ඔව්. ඔව්. මම කවමදාකවත් මගේ සිංහල ගමේ උදේ හවස අහස දිහා බලාගෙන ඉදලා නෑ. සමහරවිට මගේ ඉරත් මේ වගේම ලස්සන වෙන්නැති. අපිට එක එක භේද ජාති තිබුනාට ස්වභාව ධර්මයාට අපිව එකම විදියට පෙනෙනවා ඇති. අර පුංචි කාලෙ අපේ හිතට මනුස්සකම මිස වෙන දෙයක් පෙනුනේ නෑ වගේ. ලොකුවෙන්න ලොකුවෙන්න මොකක්ද අපේ හිත්වලට වුනේ. ලෝකෙක බලාපොරොත්තු සැබෑ කරගන්න වෙහෙසුන අපිව අපෙන් දුරස්වුනාද? සමහර විට වෙන්නත් ඇති. ඈතින් ආපු හුලං රැල්ලක් මහ සනීපයක් ගෙනාවා. මම වටපිට බැලුවා. සුලඟ ඔබ කොහෙද?.
මම ඇස්දෙක පියාගත්තා. ඒ හුලඟ ආවේ ඈත ඉදන්. හුලඟ උබට මහන්සි නැත්ද? නෑ බන් කියන්න වගේ හුලග එහේට මෙහේට හැරුනා. පන්සලේ ඉන්නෙත් පාර ඉන්නෙත් සුලඟ මේ උබම නේද කියලා ඇහුවම, ඔව් ඒ මමම තමයි කියන්න වගේ සුලඟ ටිකක් දෘඩ වුනා. ආයෙමත් ඇති නැති ගානට තැන්පත් වුනා.
සුලඟ උබට වීසා ඕනා නෑ. උබ ලෝකේ හැමතැනම ගිහින් ඇති නේද?. ලෝකෙ ලොකු ලොකු ලස්සන රටවල් වල සීතල සෞම්‍ය මෝසම්වල උඩ පනින පොරකන සතා සිව්පාවා ගහ කොල දිය ඇලි මසුන් අස්සෙ කොයිතරම් ඔබ දුවන්න ඇත්ද?
සමහර විට ඔබ මේ තරම් සෞම්‍ය සියලු දේ දැකපු නිසා වෙන්නැති. ඒත් ඇයි ඔබ දැකපු දේ මට නොකියන්නේ? මම කෑ ගහලා ඇහුවා.
මේ තරම් කාලයක් උබ වටේ හිටපු මට අදද උබ කථා කරන්නේ කියලා අහපු හුලඟ, මගේ කොණ්ඩේ සොලවගෙන කොහෙද යන්න ගියා.
සුලඟ ඔබ ආයෙ ඒවි. අපි ආයෙ ටිකක් වැඩිපුර කථා කරමු.
ලිව්වේ.
යසියා
Comments
Post a Comment
මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක