"වජිරපානි 01"
"වජිරපානි 01"

ටයර් එක චැසියෙ ගෑවෙන්න ඔන්න මෙන්න කියලා තියෙන සෙනග පිරුණු බස් එකක තනිකමක් දැනෙන මනුස්සයෙක්, කාමරේ අදුරු මුල්ලක වෙලා ජීවිතේ පෙරලිච්ච පිටුවක් පිටුවක්ගානෙ ලියැවිච්ච දේවල් අනේ වෙනස් විදියකට ලියැවුනා නම් කියලා හූල්ලන මනුස්සයෙක් මීවිත පිරුණු හෙට දවසක සුබ සිහින දකින්නෙ කොහොමද?
පන්හිදෙන් ලියැවිච්ච පෙම් වදන් හෝ ගාලා යාලුවො අතරෙ මාකට් වෙච්ච ඉස්කෝල කාලෙ, බස් ස්ටෑන්ඩ් එකේ බිත්ති කොටේක වාඩිවෙලා යාලුවො පිරිවරාගෙන යන එන කෙල්ලන්ට කොචොක් කරපු ඒ පුංචි එකාට අද මොකක් කියලා වෙලාද? ජීවිතේ මහ මුහුද මැද්දෙන් ගොඩබිමක් හොයාගෙන ඈතට ඇදුනු ඒ පුන්චි ඔරුව තෙරක් නොපෙනි නැවතිලාද? එහෙමත්ම නැත්නම් අල්ප්ප්‍රාණ මහප්ප්‍රාණ දාලා ලස්සනට ලියන ජීවිතේ අරුත තනි පිටුවෙන්ම වැටහිලාද? මේවට උත්තර දන්නෙ උඩ ඉන්න දෙයියෝ විතරක් වෙන්නැති. ඒත් දෙවි දේවතාවොන්ට දුප්පත් අපිව අමතක වෙලාද?
සංවෘත ලෝකෙ ප්‍රශ්ණවලට පිලියම්, සක්කලගලෙන් එහා ලෝකෙන් හොයාගෙන ආවට ඒ පිලියම් යොදන්න කියලා මටම තිබ්බ ලෝකෙ මමම නැති කරගත්තා වත්ද කියලා හිතෙද්දි පපුව ගලවලා එලියට අරන් ඇල්පෙනෙති ගොඩක උල් තුඩු මත තිබ්බා වගේ.
සංසාර ගමන කොහෙන් නිමි වේවිද? අහිමි වෙච්ච ඒ උණුහුම වගේ උණුහුමක් ඇස් දෙක පියාගන්න කලින් ආයෙ මුණුගැහේවිද? උදේ අරුණලු මැද්දෙ රෝස පෙති මත දිලිසෙන ඒ පිණි බිංදු දවල් වෙනකන් ලස්සනට තියේවිද?
*මතු සම්බන්ධයි*
Comments
Post a Comment
මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක